Beyond Nation

අප සියළු දෙනා කොටස්කරුවන් වන ලාංකීය සමාජය සහ ලිංගිකත්වය කොන්දේසි රහිතව විවේචනය කෙරෙන තෝතැන්න…

Posts Tagged ‘ජාතිය’

ජාතික කොඩියේ සිංහයාගෙන් සුළු වාර්ගිකයින් බැට කෑම

Posted by Beyond Nation on March 28, 2011

ශ්‍රී ලංකා ජාතික කොඩියෙන් පවා සිංහල වර්ගවාදියා උත්සාහ කරන්නේ අහිංසක සුළු ජනතාවට පහර දීමටය. ඉතින් ඒ ගැන අකුරු වැලක් ගෙතීමට මට සිතුණි. මෙහිදී ජාතික කොඩියට කිසිදු අපහාසයක් කිරීමට ලේඛකයා අදහස් නොකරන අතර පවත්නා නීතිමය රාමුවේ සිට මාගේ අදහස් දක්වමි.

මෙහිදී අප දකින ප්‍රධානතම ප්‍රශ්නයනම් ජාතික කොඩියේ සිංහයා කඩුවක් ඔසවාගෙන දෙමළ ජනතාව නියෝජනය කරන දිශාවට හැරී සිටින්නේ ඇයිද යන ගැටළුවයි. අතීතයේ සිට පැවත එන සිංහල වර්ගවාදියා තම ප්‍රචන්ඩත්වය සහිංසක දෙමළ ජනතාව දෙසට හැරවීම මෙමගින් පෙන්වනවයි. මෙය කිසිසේත් ශිෂ්ට සමාජයකට ගැලපෙන්නක් නොවේ.

ජාතිය ගැන බුදු දහමේ කියන්නේ කුමක්ද යන්න වැදගත් බෞද්ධයන්ට පමණි. දෙමළ ජනතාවට. , මුස්ලිම් අයට, අන්යාගමික හා අනාගමික අයට ජාතිය ගැන බුදු දහමේ මොනවා කිව්වත් කමක් නැත. අනික් අතට බෙදා ගන්න පුලුවන් ජාතියක් හෝ බැරි ජාතියක් නොව කිසිම ජාතියක් ගැන බුදු දහමේ කියනවා මා අසා නැත. බුදුන් වහන්සේ දෙව් මිනිසුන්ගේ ගුරුවරයා (සත්ථා දේව මනුස්සානං) මිස සිංහලුන්ගේ ගුරුවරයා නොවේ. ත්‍රිලක්ශණය මෙනෙහි කරන පුනර්භවය විශ්වාස කරන බෞද්ධයන්ට ‘ජාතිය’ යන සංකල්පය විහිලුවකි. ජාතිය ගැන කෑ ගසන මිනිසුන් දෙස බෞද්ධයන් බැලිය යුත්තේ අනුකම්පාවෙන් හා මෛත්‍රියෙනි. ‘ජාතිය’ කියා අදහස් කරන්නේ ඉපැදීම නිසා යමකු ඉබේම අයත් වන කුලකයටය. එය කුලයක් හෝ ජන වර්ගයක් විය හැක. ගෞතම බුදුන් මෙවන් බෙදීම් ප්‍රතික්ෂේප කර ඇත. එයින් අදහස් වන්නේ වර්තමානයේ ‘බෞද්ධයින්’ කියා ගන්නා සියළුම දෙනා එය පිළිපදින බව නොවේ. ගොවිගම කුලයේ නූපන්නකුට සියම් නිකායේ මහණ කම නොලැබෙන්නේ බුදුන් එසේ වදාළ නිසා වනු නොහැකිය.

බුදුන් සරණ යන බෞද්ධයා කළ යුත්තේ තම සියලුම බැඳීම් ඉවත් කිරීමයි. ඒ සඳහා පළමුව පුළුල්ම සහ පහසුවෙන් ඉවත් කළ හැකි අවස්ථාවෙන් පටන් ගත යුතුය. එනම් තමන්ගේ පටු වර්ගවාදය ඉවත් කළ යුතුය. ඉතින් බෞද්ධ සිංහලයින්ට තම ජාතිකත්වය ඉවත් කිරිම අනෙකුත් වාර්ගිකයින්ට තම වාර්ගිකත්වය ඉවත් කිරීමට වඩා පහසුය. එනිසා සෑම සිංහලයෙක්ම එක් වී ජාතික කොඩියෙන් අහිංසක සුළු ජාතීන්ට විරුද්ධව ප්‍රචණ්ඩත්වය දියත් කරන සිංහයාව ඉවත් කළ යුතුය. ඊට අමතරව මගේ රට මගේ ජාතිය මගේ ආගම යනාදී මෝඩ සහ ම්ළේච්ඡ වර්ගවාදී අදහස් ද අයින් කළ යුතුය.

මෙයට තවත් ප්‍රධාන හේතුවක් තිබේ. සිංහලයා ජාතික කොඩියෙන් වැඩි ඉඩක් ගෙන ඇති විට අනෙකුත් වාර්ගිකයින්ට සාධාරණයක් ඉටු වේවිද? ඇමරිකා එක්සත් ජනපදයේ කොඩිය එක් උදාහරණයකි. එහි කල්ලන්ට වෙනම, සුද්දන්ට වෙනම, හිස්පැනිකයන්ට වෙනම කියා කොටස් නැත. ඇමෙරිකාවේ සුද්දන්ද කවදාවත් ‘එක ජාතියක්’ වූයේ නැත. ජන කොටස් අතර ඉතා විශාල බෙදීම් තිබිණි. ඇමෙරිකාවේ සිවිල් යුද්ධය කියාද එකක් තිබුනේ එනිසාය. එහෙත් රටේ ජාතික කොඩිය නිර්මාණය කිරීමේදී ජන කොටස් වශයෙන් නිරූපණයක් කර නැත. ඇමෙරිකානු කොඩිය එක් උදාහරණයක් පමණකි. ජතික කොඩියෙන් තනි තනි ජන වර්ග නියෝජනය නොකරන අවස්ථා ඕනෑතරම් ඇත. ජාතිවාදයෙන් දැඩි ලෙස බැට කෑ එක් රටක් වන රුවන්ඩාවේ නව ජාතික කොඩිය කිසිම ජන වර්ගයක් නියෝජනය කරන්නේ නැත. (http://en.wikipedia.org/wiki/Flag_of_Rwanda) අප වර්ගවාදීන් වූ පලියට සකල මහ ලෝකයම වර්ගවාදීන්යැයි උපකල්පනය කළ යුතු නොවේ.

එනිසා නව සියවසකට යාමටනම් අපි අපේ පටු සිංහල ජාතිකත්වය අලුයම ලූ කෙල පිඩක් සේ වීසි කළ යුතුය. ජාතික කොඩියෙ ඒ වර්ගවාදී ජාතිවාදී ප්‍රචන්ඩත්වය පෙන්වන සිංහයාව ඉවත් කළ යුතුය.

Posted in Uncategorized | Tagged: , , , , , | 53 Comments »

නපුංසක ජාත්‍යාලය ඇති සිංහල ජාතිවාදය | Sinhala Racialism

Posted by Beyond Nation on March 13, 2011

මොකක්ද මේ ජාතිය? ජාතියට නිර්වචනයක් තිබෙනවාද? ජාතිවාදීන්ගෙන් මම මුලින්ම අහන ප්‍රශ්නය මෙයයි? ඒත් මේ වෙන තෙක් කිසිදු ජාතිවාදියෙක් මේකට උත්තර දී නැත. නිර්වචනයක් නැති දෙයක් ඇතැයි කියන්නේ කෙසේද? ඉතින් සියල්ල පැහැදිලිය. මොවුන්ගේ මානසික ගැටලුවක් නිසා නැති ජාතියක් ගැන කතා කරයි. සිංහල ජාතිවාදීන් තවමත් පෙන්වන්නේ සිංහල අවලම් කමක් මිසක සිංහල කමක් නම් නොවෙයි මට පෙනෙන හැටියට. සිංහල කම මෙතරම්ම අශීලාචාරද??

ජාතිය ගැන විශ්වීය පැහැදිලි කිරීම් ඇත. මේ ඉන් එකකි. සුද්දා එන්නට කලින් පැරැණි වැඩවසම් සිංහලයේ නම් “ජාතිය” සහ “කුලය”කියා හැඳින්වූයේ එකම දෙයක්. ‘අඩු ජාති’ කිව්වේ ‘අඩු කුල’ යන්නටය. එදා සිටි ම්ලේච්ඡ සිංහලයින් වනචාරී ලෙස කුල වලට බෙදී උනුන් මරාගනිමින් සිට ඇත. අපි ‘ජාතිය’ යයි කියනුයේ බටහිර පුනරුද සමයේ දේශපාලනික අවශ්‍යතාවයන් මත නිපදවාගෙන පසුව මෙරටට ආනයනය කළ ‘Nationality ‘ සංකල්පයට පර්යාය පදයකටය. අපි ‘ජාතිය’ කියා පාවිච්චි කළේ ‘කුලය’ කියන සංකල්පයටමයි. ‘Nationality ‘ සංකල්පය අපේ චින්තනයට අයිති සංකල්පයක් නොවෙයි. මුලින්ම අපේ ගෝත්‍ර තිබුණා. එහි පදනම ලේ නෑකම. ගෝත්‍ර හතරක් අපට තිබුණා. ක්‍රමයෙන් වර්ධනය වන සමාජය හමුවේ එය අප්‍රායෝගික වෙනකොට අපි ‘රැටියෝ’ සංකල්පය නිර්මාණය කර ගත්තා, ‘රටවල්’ දහයක්, රැටියන් ප්‍රභේද දහයක් අපට තිබුණා., පස්සේ ඒක ආපහු දෙකක් උණා. ඒ රැටියන් අතර සංස්කෘතිකමය සමාන කම් මෙන්ම වෙනස් කම් තිබුණා. ඒවා පැහැදිලිව අරුත් ගැන්විය හැකි සංකල්ප. කොටින්ම “සිංහල ජාතිය” අපි හදාගෙන නා ගත්තේ බටහිරයන් පස්සේ යන්නට ගිහින්. මොකද අපි සිංහල කියා ජාතිය හදාගන්නා විට බටහිර සංස්කෘතිය මෙන් කිසිදු දියුණුවක් ලබාගෙන නැති ම්ලේච්ඡ උදවිය. “ජාතිය” පටු මෙන්ම ව්‍යාජ සංකල්පයක්. ක්‍රිස්තියානි මූලයක් ඇති දේශපාලනික නිර්මාණයක්. ‘හෙළ’ කියන්නෙ එකිනෙකින් වෙනස් සංස්කෘතික අනන්‍යතාවයන් තිබූ ගෝත්‍ර හතරක හඳුනාගත් බිමක් මත ගොඩනැඟූ සාමූහිකත්වය මිස ‘ජාතියක්’ නොවේ. ඒකයි එය ‘සිව්හෙළ’ උණේ. අපි එය ‘සිංහල’ කරගෙන ‘ජාතියක්’ බවට පත් කරගෙන චින්තන අනන්‍යතාවය විනාශ කර ගත්තේ බටහිර ජාතීන්ව වඳුරන් මෙන් අනුකරණය කරන්න යාමෙන්.

මෙතැන වැදගත් වන්නේ මෙයයි. වර්තමානයේ මිනිසා ලබා ඇති දියුණුවත් සමගම අද ලෝකය විශ්ව ගම්මානයක් බවට පත්ව ඇත. ලෝකයේ සියලුම සංස්කෘතීන් එකතු වී එක් මිනිස් වර්ගක් බිහි වී ඇත. මිනිසා අදින් දශක කිහිපයකට පෙර සිටි මිනිසාට වඩා බාහිර කරුණුමත මනා සාමාජිය දැනුමක් අත් කරගෙන ඇත. එම නිසා තනි ජාතියක් ලෙස සිතනවාට වඩා රටක් ලෙස අප හැමදෙනාම සිතා කටයුතු කරන්නේ නම් සමකාමි ජාතියක් ලෙස අපට ජිවත් විය හැකි සේම රටක් ලෙස ඉදිරියට යාමට එය මහත් අස්වැසිල්ලක් වේ. සිංහල නොවන දෙමළ සහ මුස්ලීම් අයට මෙලෙස රටක් ලෙස සිටීමට අවශ්‍ය වුණත් ජාතිවාදී නරුම සිංහලයන් තවමත් සිටින්නේ ගල් යුගයේය.

මහා හයියෙන් සිංහල කම ගැන කෑ ගහන ජාතිවාදීන් නොදන්නා දෙයක් ඇත. උන් ජාතිය කියන අපි රට කියන ශ්‍රී ලංකාව දියුණු වුණේ බ්‍රිතාන්‍ය ජතිකයින් නිසාය. බ්‍රිතාන්‍යයන් මේ රටට ආවේ නැත්නම් අපේ මහ වුන් තාමත් හරක් නගුල එළවමින් කුඹුරු මඩවනවාය. පැල් කොට වල සිටිමින් වැස්සට බෙරි වෙනවාය. මේ සිංහල ජාතිවාදීන්ට ආයිත් වුවමනා ඒ යුගයට යන්නද? සිංහල ජාතිවාදී නරුමයිනි, පිළිගනියවු, ලංකාව මෙතෙක් හෝ දියුණු වී ඇත්තේ යුරෝපීය ජාතිකයින්ගේ අහිංසක ආක්‍රමණ නිසාය. අපි එවැනි විශිෂ්ත ජාතිකයින්ගේ අහිංසක ආක්‍රමණ වලට ලක් වීම ගැන සතුටු විය යුතුය. නැත්නම් තොපි හිතාගෙන සිටින ලෙසම තාමත් රජ පවුලකට කත් අදින්නට වෙනවා ඇත.

ඒ අහිංසක ආක්‍රමණ මොකක්ද කියා කිසි දෙයක් නොදන්නා සිංහල ජාතිවාදීන්ට මෙලෙස කියා දීමට පුළුවන්. යුරෝපීයයන් පෙරදිගට පැමිණියේ වෙළඳාමටය. එසේම වෙළඳාම් කර සිංහල රජාට සාධාරණව ලාභයද ලබා දුන්නෝය. නමුත් මේ ගුණමකු සිංහලයින් කළේ කුමක්ද? අර වෙළඳාමට ආපු අහිංසක යුරෝපීය වෙළඳුන්ට බලය පෙන්වා ඒ අයගේ නැව් සහ වස්තුව කොල්ල කා තම වනචාරී බව පෙන්වීමය. බල්ලෙකුට වුවද ඉවසීමේ සීමාවක් ඇත. ඉතින් එදා සිටි ම්ලේච්ඡ ජාතියට සානුකම්පිතව බලය යෙදවීමට යුරෝපීයයින්ට සිදු විය. එමගින්ද මට්ටු නොවූ සිංහල ජාතිවාදීන් විසින් දිගින් දිගටම යුරෝපීයයන්ගේ වෙළඳාමට බාධා කළ නිසා අහිංසක ආක්‍රමණයක් කිරීමට ඔවුන්ට සිදු විය. එමගින් එදා ලංකාව තුළ නීතිය සහ සාමය රජ විය. සිංහලයැයි කියා ගන්නා උදවිය ශිෂ්ටාචාර ගත වුණේ එසේය.

නමුත් තව දැනගත යුත්තක් ඇත. සිංහල ජාතියක් නැති බව පහැදිලිය. නමුත් දෙමළ සහ මුස්ලීම් යනු පැහැදිලිවම ජාතීන්ය. සිංහලයින්ට නැති වුවද අනෙකුත් ජාතීන්ටම අනන්‍ය වූ සංස්කෘතීන් ඇත. අනෙකුත් ජාතීන් තම ජාතික නිදහස ගැන ඉතාමත් සංවේදීව අහිංසක ක්‍රියාමාර්ග ගනිද්දී සිංහල ජාතිවාදීන් හදන්නේ අනෙකුත් ජාතීන් විනාශ කර දැමීමටය. වඩාත්ම භයානක ජාතිවාදය සිංහල ජාතිවාදයයි. සිංහල ජාතිවාදය දුටු තැන ලොප් කර දැමිය යුතුය. එමෙන්ම “සිංහල ජාත්‍යාලය” ද විනාශ කර දැමිය යුතුයි. එයට හේතුව සිංහල කියා ජාතියක් නැති වීමත් නැති දෙයකට ආලය කරන්නේ පිස්සන් වීමත්ය.

ඉතින් සිංහල ජාතිවාදීනි, තව දුරටත් අශිෂ්ටත්වයම පෙන්නන්න එපා. සිදුවූ වැරැද්ද හදාගෙන වැදගත්ව ජීවත් වෙන්න, ඔබ වැදගත් ජාතියකට අයිති නම් පමණක්, නැත්නම් අවලම් කම දිගටම පෙන්නුවාට කමක් නැත. ඒ සඳහා අපි හොඳ ආරම්භයක් පටන් ගත්නා ලදී. ජාතිය යන මානසිකත්වයෙන් එහා හෙවත් Beyond Nation යන මතවාදයෙන් අපේ ශ්‍රී ලංකාව දිගටම පෝෂණය කරමු. 

Posted in Uncategorized | Tagged: , , , , | 10 Comments »